|
අපදානය |
1976 මාර්තු 21 වැනිදා කොළඹ උපත ලැබූ නුවන් නයනජිත් කුමාර, කොළඹ කේරි විදුහලේ වසරක් ඉගෙනීමෙන් පසුව ප්‍රාථමික අධ්‍යාපනය ලබනු පිණිස 1983 දී කොළඹ නාලන්දාවට ඇතුල් විය. මවුකිරි හා සමඟ කලාව ආස්වාදය කළ ඔහුගේ ලේඛන කුසලතාව මුවහත් වූයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ද්විතීය අධ්‍යාපනය (1988-1995) ලබන සමයේදීය. 1993 දී එහි පැවැති එදිරිවීර සරච්චන්ද්‍ර උපහාර නිර්මාණ පද්ම සම්මාන උලෙළේ හොඳම ගද්‍ය හා පද්‍ය රචකයාට හිමි සම්මාන යුගලත් 1994 හොඳම පද්‍ය රචකයාට හිමි සිරිල් සී. පෙරේරා උපහාර නිර්මාණ පද්ම සම්මානයත් හේ දිනා ගත්තේය. 1995 උසස් පෙළ කලා අංශයේ ඉහළම ප්‍රථිඵල ලැබූවන්ට හා විනයානුකූල සිසුන්ට පිරිනැමෙන පී. ද එස්. කුලරත්න ශිෂ්‍යත්වය නුවන්ට හිමි විය. 2001 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (B.A.) උපාධියද 2002 දී එම විශ්වවිද්‍යාලයෙන්ම ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාද් උපාධි ඩිප්ලෝමාවද, 2005 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදන ශාස්ත්‍රපති (M.A.) උපාධියද ඔහු ලබා ගත්තේය. 2014 වසරේදී නුවන්, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් දර්ශනසූරී (Ph.D) හෙවත් ආචාර්ය උපාධිය ලැබුවේ ලාංකික විශ්වවිද්‍යාලයකින් සිනමාව විෂය උදෙසා ආචාර්ය උපාධිය ලැබූ පළමුවැන්නා ලෙස මතු නොව, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී පර්යේෂණ නිබන්ධයක් ඉදිරිපත්කොට එහි ආචාර්ය උපාධිය ලැබූ පළමුවැන්නා ලෙස ඉතිහාසගත වෙමිනි.
1986 දී ධම්ම ජාගොඩ අධ්‍යක්ෂණය කළ ‘මිහිකතගේ දරුවෝ’ ටෙලි නළුවෙහි ළමා චරිතයක් රඟපාමින් කලා ලොවට පා තැබූ නයනජිත් 1988 දී ගුවන්විදුලි ළමා පිටියෙන් ගායන ලොවට පා තැබුවේය. |
ගායනයෙන් හේ වඩාත් ප්‍රකට වූයේ 1997 තම මවු (දමයන්ති ජයසූරිය) සමඟ ‘ආ මඟ කෙටියි, යා යුතු මඟ දුරයි’ ගීතය ගැයීමෙනි.
|
|
1992 නවයුගය පුවත්පතෙහි විශේෂාංග ලිපි ලිවීමෙන් පත්‍ර කලාවට අවතීර්ණ වූ ඔහු ජනතා, සරසවිය, සරසි, සිළුමිණ, ලක්බිම, නිදහස, දිවයින, බෞද්ධාලෝකය, චිත්‍රපට වැනි පුවත්පත්, සඟරාවලට වරින් වර සාහිත්‍ය, සිනමා විචාර, විශේෂාංග හා පරිවර්තන ලිපි රචනා කළේය. ජාතික රූපවාහිනියේ ටෙලි නාට්‍ය සමීක්ෂණ මණ්ඩලයේ අධීක්ෂකවරයකු ලෙසද නුවන් කලක් කටයුතු කොට ඇත. |
|
1999 දී ‘අද්‍යතන සිනමාවේ ලිංගික ප්‍රවණතාව’ කෘතියෙන් ග්‍රන්ථකරණයට ප්‍රවිෂ්ට වූ නයනජිත් 2004 දී ‘ගාමිණි: විශ්වීය රූපණවේදයක ආසියානු පුරෝගාමියා’ නමැති පර්යේෂණ ග්‍රන්ථය ලියා පළ කළේය. 1999 ජයවිලාල් විලේගොඩ අනුස්මරණ විචාරක සම්මානය හිමි කර ගත් ඔහු, 2002 දී සිරිල් බී. පෙරේරා අනුස්මරණ විචාරක තරඟයෙන්ද මුල්තැන දිනා සම්මාන ලැබුවේය.
නුවන්ගේ ජීවිතයෙන් වැඩිම කාලයක් (වසර 19 ක්) වැයකොට ඔහු ලියූ ‘ශ්‍රී ලාංකේය සිනමා වංශය’ නමැති ග්‍රන්ථය 2005 වසරේදී එළිදුටුවේය. 2006 දක්ෂ පත්‍ර කලාවේදීන්ට පිරිනැමූ බොරලැස්ගමුවේ විමලසිරි පෙරේරා අනුස්මරණ සම්මානයද 2008 දී සිනේ මීඩියා විෂන් සිනමා ලේඛක උපහාර සම්මානයද දිනාගත් නයනජිත් වත්මනෙහි ලේක්හවුස් ආයතනයෙහි සරසවිය පුවත්පතෙහි නියොජ්‍ය සංස්කාරක ලෙස සේවය කරයි. එසේම ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ 2005 වසරේ සිට මේ දක්වා 13 වසරක කාලයක සිට සිනමාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකි.
‘ලෙස්ටර් විරචිත ලේඛන සංහිතා’ (2006) නුවන්ගේ සිවුවැනි ග්‍රන්ථය වන අතර, ප්‍රථම පරිවර්තන කෘතියද වේ. ‘ගඞ්ඩරිකා ප්‍රවාහය හෙවත් සුකිරි බටිල්ලන්ගේ ලෝකය’ (2008), ‘සොඳුරු අදියුරු සකසුවාණෝ’ (2009), ‘පාඨන විචාර හා ආලෝචනා’ (2010), ‘නව මඟක සංකථන’ (2011), ‘නිහාල්සිංහ; පුරෝගාමී තෙවැනි ඇස’ (2012), ‘සාහිත්‍ය කලා සංකතිකා’ (2014), ‘අමරදේව: මහා ගාන්ධර්ව විබුධයාණෝ’ (2015), ‘ඔතපුවන් නුවණ’ (2016) යන ග්‍රන්ථ ලියා පළ කළ ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රතිසංවිධාන ත්‍රිපුද්ගල කමිටුවේද සාමාජිකයෙකි. එසේම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ‘පුවත්පත් කලාව හා සන්නිවේදන අධ්‍යයනය’ පිළිබඳවද ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ සිනමාව පිළිබඳවද කථිකාචාර්යවරයෙකි. 2012 දී ලේක්හවුස් ආයතනය මුල්වරට මෙහෙයවූ එක් අවුරුදු දෙමළ භාෂා පාඨමාලාව නුවන් විශිෂ්ට ශ්‍රේණියෙන් සමත් වූයේය.
සිනමා සාහිත්‍යයට විශිෂ්ට සේවාවක් සිදු කළ කලාකරුවන් අගයනු සඳහා ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන ‘සිග්නීස්’ සිරිල් බී. පෙරේරා අනුස්මරණ සම්මානය 2007 වසරේ පුදනු ලැබුවේ ඔහුටය. මේ සම්මානයට මෙතෙක් හිමිකම් කියූ ළාබාලතම සිනමා විචාරකයා නුවන්ය. සිනමා සාහිත්‍යය උදෙසා ඔහු ඉටුකළ මෙහෙවර හා සිනමාව පිළිබඳ ලැබූ මෙරට පුරෝගාමී ආචාර්ය උපාධිය අගයනු පිණිස 2015 මාස්කෝ ජනමාධ්‍ය ශූරී සම්මානය (ලංකා ජන සන්නිවේදකයන්ගේ සංසදය) නුවන්ට පිරිනැමිණ. 2016 වසරේද මාස්කෝ ජනමාධ්‍ය ශූරී සම්මානයට ඔහු පාත්‍ර විය. 2016 සරසවි නිර්මාණ ගුණදාස ලියනගේ ප්‍රසාද පූජා සමරු සම්මානය නුවන්ට පිරිනැමිණ. වයසෙන් ළාබාල මෙරට ආචාර්ය උපාධිලාභීන් අතළොස්සටද ඔහු අයත් වේ. ‘සරසවි බැල්මෙන් සතර සවියට’ නමින් මේ ජනගත වනුයේ නුවන් විසින් විරචිත දහතුන් වැනි ග්‍රන්ථය වේ.
මාධ්‍යවේදී ඒ. ඩී. රංජිත් කුමාර මහතාගේ හා ප්‍රවීණ ගායිකා දමයන්ති ජයසූරිය මහත්මියගේ එකම පුත්‍ර රත්නය වන නුවන් 2013 දී කොලඹ් මියුසියස් විද්‍යාලයේ ගුරුවරියක වූ නදීකා පුෂ්පවිමල මෙනෙවිය සමග විවාහ දිවියට පිවිසුණි. නිරාශ් දම්රුසි හා නිර්වාන් දම්රුසි යනු ඔවුන්ගේ නිවුන් පුතුන්ය.
|
|
![]() |
![]() |

