පොත්
 
 

 

 

කතුවරයා යනු ලෝකයේ ඕනෑම දෙයකට ලිඛිතව පැවැත්මක් ලබා දෙන්නාය. එමෙන්ම, ඔහු නිර්මාණය කරණු ලබන දේ පිලිබඳව ඔහු පූර්ණ වගකීමෙන් යුතුවිය යුතුය.
Book

අද්‍යතන සිනමාවේ ලිංගික ප්‍රවණතාව (1999)

 

මෙරට සිනමාවේ එක් වකවානුවක පැවති කාම චිත්‍රපට රැල්ල පිළිබඳ සිදු කෙරුණු පුරෝගාමී පර්යේෂණයකි. 1999 O.C.I.C ජයවිලාල් විලේගොඩ අනුස්මරණ විචාරක සම්මානය හිමි වූ නිබන්ධනය ඇතුළු විචාර ලිපි මීට ඇතුළත් වේ. හුදෙක්ම වාණිජ පරමාර්ථයෙන් ගොඩනැඟුණු මේ කාම චිත්‍රපට රැල්ල ඉතා ඉක්මනින් බිඳ වැටෙන බව මෙහි සඳහන් වන අතර, එම ග්‍රන්ථය ජනගත වී වසර කිහිපයක් ඇතුළත එකී නිගමනය සැබෑ විය. මෙය ෆාස්ට් පබ්ලිෂින් සමාගමේ කුලූඳුල් ග්‍රන්ථ ප්‍රකාශනය වේ.

අදහස්
Book

ගාමිණි: විශ්වීය රූපණවේදයක ආසියානු පුරෝගාමියා (2004)

 

ගාමිණි ෆොන්සේකා මෙරටට පමණක් නොව, මුළුමහත් ආසියාවටම විශ්වීය යථාර්ථවාදී රූපණවේදය හඳුන්වා දුන් බව මේ ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරෙන නවතම මතවාදය වේ. ගාමිණිගේ අපදානය සේම ඔහු අරභයා කෙරුණු විචාරාත්මක අධ්‍යයනයක්ද මීට ඇතුළත් වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාද් උපාධි ඩිප්ලෝමාව උදෙසා කතුවරයා ඉදිරිපත් කළ නිබන්ධනය වඩාත් පුළුල් කිරීමේ ප්‍රතිඵලයකි, මේ ග්‍රන්ථය. මෙය ෆාස්ට් පබ්ලිෂින් (සුරස) ප්‍රකාශනයකි.

අදහස්
Book

ශ්‍රී ලාංකේය සිනමා වංශය (2005)

 

 

ශ්‍රී ලාංකික සිනමාව අලළා මෙතෙක් ලියන ලද ග්‍රන්ථ අතරින් ඉතාමත් වටිනා ග්‍රන්ථය මෙය ලෙස ආතර් යූ. අමරසේනයන් ලියූ 60 වසරක සිංහල සිනමා ප්‍රකාශන ග්‍රන්ථයේ (පිට 199) සඳහන් වේ. දත්ත හා ඡායාරූප මඟින් මෙරට සිනමාව සංරක්ෂණය කිරීමට දැරූ පුරෝගාමී ප්‍රයත්නයකි. මේ ගවේෂණයේ ඇතුළත් දත්ත හා තොරතුරු 99.99% ක්ම නිවැරදි බව මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ මතය වේ. විශ්වවිද්‍යාල, ජනමාධ්‍ය ආයතනවල බහුලව පරිශීලනයට ගැනෙන පුරෝගාමී ප්‍රමාණික සිනමා අත්පොතකි. ලාංකේය ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය, ලාංකේය ප්‍රථම විත්ති කථා චිත්‍රපටය, ලාංකේය ප්‍රථම සිනමා ග්‍රන්ථය යනාදී අංශ රාශියක් පිළිබඳ නව මතවාද මේ ග්‍රන්ථයෙන් ඉදිරිපත් වේ. මෙය සරසවි ප්‍රකාශනයකි.

අදහස්
Book

ලෙස්ටර් විරචිත ලේඛන සංහිතා (2006)

 

ලෙස්ටර් ජේම්ස් පීරිස් ඉංග්‍රීසි බසින් ලියූ ලිපි ලේඛන සිංහල බසට පරිවර්තනය කොට එක්රැස් කළ පුරෝගාමී ප්‍රයත්නය මෙය වේ. ඉංග්‍රීසියෙන් විචාර ලියූ මෙරට පුරෝගාමී සිනමා විචාරකයා ලෙස්ටර් බව මේ ග්‍රන්ථයෙන් නුවන් නයනජිත් ඉදිරිපත් කරන නවතම මතවාදයයි. නුවන්ගේ ප්‍රථම පරිවර්තන කෘතිය වන මෙය සරසවි ප්‍රකාශනයකි.

අදහස්
Book

ගඞ්ඩරිකා ප්‍රවාහය හෙවත් සුකිරි බටිල්ලන්ගේ ලෝකය (2008)

 

විවෘත අර්ථ ක්‍රමයේ අයහපත් ඵල සමඟ බද්ධ වූ නූතන ජනමාධ්‍ය ක්‍රියාවලිය යොවුන් පරපුරේ බුද්ධියට, දැනුමට, රසඥතාවට සිදු කළ හානියත්, එමඟින් බිහි කළ විවිධ ව්‍යාජ රැලිවලට හසු වී මෙරට බහුතර තරුණ පරපුර ගසා ගෙන ගිය ආකාරයත්, මේවායින් බැහැර වී නූතන විශ්වයේ ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ ශ්‍රී ලාංකේය අනන්‍යතාව තහවුරු කළ යුතු ආකාරයත් එහිලා ජනමාධ්‍යයේ කාර්යභාරයත් මේ ග්‍රන්ථයෙන් විවරණය කෙරේ. එසේම ථෙරවාදී බෞද්ධ දර්ශනයෙන් ගොඩනැඟුණු මෙරට සභ්‍යත්වය පසෙකලා අවිචාරය, බටහිර ගැති හීනමානය ඔස්සේ මෙරට ආර්ථික, දේශපාලනික, සංස්කෘතික සන්දර්භය වැරදි මඟට ප්‍රවේශ වූ ආකාරයත්, එය යළි නිවැරදි මඟට ගෙන ඒම සඳහා ජනමාධ්‍යවේදයේ විචාරය සකස් විය යුතු ආකාරයත් එමඟින් ස්වාධීන පුරවැසියා නිර්මාණය කළ යුතු ආකාරයත් මේ කෘතියෙන් ගැඹුරින් පර්යේෂණයට ලක්කෙරේ. එසේම පොදු ජන සංස්කෘතිය හා ජනප්‍රිය සංස්කෘතිය එකිනෙකට මුළුමනින්ම වෙනස් සංස්කෘතික ධාරා දෙකක් බව ශාස්ත්‍රීය ලෙස විග්‍රහ කෙරුණු පුරෝගාමී ග්‍රන්ථය මෙය වේ. බෞද්ධ දර්ශනය පදනම් කොටගත් ලාංකේය විචාර ක්‍රමවේදයක් බිහි කිරීමට කතුවරයා මේ ග්‍රන්ථයෙන් මුල්වරට ප්‍රයත්න දරයි. මෙය සරසවි ප්‍රකාශනයකි.

අදහස්
Book

සොඳුරු අදියුරු සකසුවාණෝ (2009)

 

ටයිටස් තොටවත්ත ලාංකේය ප‍්‍රථම සිනමා සකසුවාණන් බවද එදා මෙදා මෙරට පහළ වූ අග්‍රගණ්‍ය සිනමා සංස්කරණ ශිල්පියා බවද මෙරට ළමා සිනමාවකට පදනම දැමූ පුරෝගාමී සිනමාවේදියා බවද හඬ කැවීමේ හා උප සිරැසි යෙදීමේ ක්‍රමවේදය මෙරට රූපවාහිනී මාධ්‍යයට හඳුන්වා දුන් පුරෝගාමී සන්නිවේදකයා බවද මේ ග්‍රන්ථයෙන් පුරෝගාමීව, පර්යේෂණාත්මකව තහවුරු කෙරේ. ටයිටස් තොටවත්ත අපදානය සේම ඔහු පිළිබඳ කෙරුණු විචාරාත්මක අධ්‍යයනයකි. මෙය ඇස්. ගොඩගේ ප්‍රකාශනයකි.

අදහස්
Book

පාඨන විචාර හා ආලෝචනා (2010)

 

බෞද්ධ දර්ශනය පදනම් කොටගත් ශ්‍රී ලාංකේය විචාර ක්‍රමවේදයක් බිහිකිරීම සඳහා රචිත පර්යේෂණ ලිපි මෙන්ම එකී විචාර මිනුම් දඬු ඔස්සේ චිත්‍රපට, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සාහිත්‍ය, ගී සමුච්ච යනාදිය විචාරයට ලක් කළ යුතු ආකාරය පෙන්වා දුන් පුරෝගාමී ග්‍රන්ථයකි. කලා කෘතියක් විචාරයට ලක් කිරීමේදී අනුගමනය කළ හැකි ක්‍රමවේදය නුවන් පාඨන, විචාර හා ආලෝචනා ලෙස අංග ත්‍රිත්වයකට බෙදා විග්‍රහ කරනු මෙහි දැකිය හැකිය. මෙය සරසවි ප්‍රකාශනයකි.

අදහස්
Book

නව මඟක සංකථන (2011)

 

විවිධ කලා ක්ෂේත්‍රවල නව මං සොයමින් හරවත් ගමනක නියැළෙන යොවුන් පරපුරේ කුසලතා සපිරි කලාකරුවන් සමඟ නුවන් පැවැත්වූ සංලාප එකතුවකි. එකම පරපුරක රැලිවලට ගසා ගිය සුකිරි බටිල්ලන්ට එරෙහිව ලේඛකයා සේම උඩුගං බලා පිහිනූ තරුණ පරපුරේ අතළොස්සෙන් තිස්හය දෙනෙකුගේ මතවාද මේ ග්‍රන්ථයට ඇතුළත්ය. එක් එක් කලාවන් අනාගතයේ හරවත් ලෙස ගමන් ගන්නා දිශානතිය මින් වටහා ගත හැකි වේ. මෙය එක් අතකින් නුවන්, තමන්ගේ පරපුර දිරිගැන්වීමට ලියූ ග්‍රන්ථයකි. එසේම තරුණ පරපුරේ දක්ෂ කලාකරුවන්ගේ සංකථන ග්‍රන්ථයක් ලෙස එළිදකින ප්‍රථම අවස්ථාවද මින් සනිටුහන් වේ. මෙය සරසවි ප්‍රකාශනයකි.

අදහස්
Book

නිහාල්සිංහ: පුරෝගාමී තෙවැනි ඇස (2012)

 

මේ ග්‍රන්ථය එක් අතකින් ආචාර්ය ඞී.බී. නිහාල්සිංහගේ අභිධාන අපදානයකි. අනෙක් අතට ඔහුගේ කලා මෙහෙවර පර්යේෂණාත්මක හා විචාරාත්මක ප්‍රවේශයකින් අධ්‍යයනයට ලක් කිරීමකි. ලාංකේය සිනමාවේ බිහිවූ ප්‍රශස්ත සිනමාකරුවන් අල්පයෙන් එක් අයෙකු ලෙසද මෙරට බිහිවූ අග්‍රගණ්‍ය සිනමා කැමරා ශිල්පියා ලෙසද, අග්‍රගණ්‍ය සිනමා පරිපාලකවරයා ලෙසද ලාංකේය ටෙලි නළු කලාවේත්, සිනමාව, රූපවාහිනිය හා සබැඳුණු නව්‍ය තාක්ෂණික අත්හදාබැලීම්හීත් පුරෝගාමියා ලෙසද සිනමාව හා රූපවාහිනිය අරභයා දෙස් විදෙස්හි නව විද්‍යාර්ථින් පරපුරක් බිහිකළ ඇදුරුතුමකු ලෙසද හමුවන නිහාල්සිංහයන්ගේ පංචවිධ භූමිකා මෙහිදී නුවන් නයනජිත් කුමාරයන්ගේ විචාරාක්ෂියට හා පර්යේෂණාක්ෂියට හසුවේ. එපමණකුදු නොව, සිනමාස්කෝප් ක්‍රමවේදය ආසියාවට හඳුන්වාදුන් පුරෝගාමියා ලෙසද හස්තගත කැමරා ශෛලිය ආසියානු කලාපයේ භාවිත කළ දෙවැන්නා ලෙසද, දකුණු ආසියාවේ ප්‍රථම ප්‍රාසංගික වර්ණ ටෙලි නාට්‍යය බිහිකළ නිර්මාණකරුවා ලෙසද නිහාල් හා සබැඳුණ සියලූ පුරෝගාමී කර්තව්‍යයන් මේ ග්‍රන්ථයෙන් පර්යේෂණාත්මකව තහවුරු කෙරේ. මෙරට අග්‍රගණ්‍ය, අදීන පත්‍ර කලාවේදියාණන්, පත්‍ර කලාවේ නව පරපුරක් බිහි කළ මහා ගුරුවරයාණන් වූ ඞී.බී. ධනපාලයන්ගේද සුප්‍රකට චිත්‍ර හා මූර්ති ශිල්පිනියක වූ රතී ධනපාලයන්ගේද නිසල රූ කලාවේ නවමං සෙවූ ඞී.බී. සුරනිමලයන්ගේද අපදාන හා විචාරාත්මක අධ්‍යයන මේ ග්‍රන්ථයට ඇතුළත් වීමෙන් සනාථ කෙරෙනුයේ මේ කෘතියේ අංග සම්පූර්ණත්වය නොවේද? මෙය ෆාස්ට් පබ්ලිෂින් (සුරස) ප්‍රකාශනයකි.

අදහස්
Book

සාහිත්‍ය කලා සංකතිකා (2014)

 

නුවන්ගේ දශක දෙකක (1992-2012) පත්‍රකලා දිවියේ තෝරාගත් සංලාප මේ ග්‍රන්ථයට ඇතුළත් වේ. එහිදී එක් එක් විෂයයන්ට ප්‍රාමාණික වූ ප්‍රවීණයන්, අනුප්‍රාප්තිකයන් සමඟ සංලාපයේ යෙදී ඔහු ලියූ, විවිධ පුවත්පත්වල පළ කෙරුණු ශාස්ත්‍රීය සංවාදාත්මක ලිපි 122 ක් මෙහි අන්තර්ගත වේ. ඒවා විෂය ක්ෂේත්‍ර 49කට බෙදා වෙන් කළ හැකිය. එනම් සාහිත්‍ය හා කලාවන් සමඟ සබැඳුණු සියලූම විෂයයන් මින් ආවරණය කෙරෙන අතර, ජනමාධ්‍ය කලාවට ප්‍රවිෂ්ට වන නව පරපුරට සප්‍රයෝජනවත් අත්පොතකි. මෙය සරසවි ප්‍රකාශනයකි.

අදහස්
Book

අමරදේව : මහා ගාන්ධර්ව විබුධයාණෝ (2015)

 

මේ ග්‍රන්ථය එක් අතකින් මෙරට මහා ගාන්ධර්වයාණන් මතු නොව, අග්‍රේසර සංගීත ප්‍රාඥයාද වන අමරදේවයන්ගේ අභිධාන අපදානයකි. එසේම ඔහුගේ සංගීත භාවිතාව, නිර්මාණ ලකුණ, පුරෝගාමී යුග මෙහෙවර හා ප්‍රගල්භ චින්තනය විචාරාත්මක ශාස්ත්‍රීය ප්‍රවේශයකින් අධ්‍යයනයට ලක් කිරීමකි. එනම් අමරදේව අපදානය හා ශාස්ත්‍රීය අධ්‍යයනය මෙහිදී එක්තැන් වී ඇත. අමරදේවයන්ගේ ඉතිහාසය යනු එක් අතකින් මෙරට සංගීත කලාවෙහි, සුභාවිත ගීතයෙහි ඉතිහාසය බැව් පැවසීම අතිශයෝක්තියක් නොවේ. එහෙයින් මේ ග්‍රන්ථය ලාංකේය සංගීත ඉතිහාසය පිළිබඳ ලියූ කෘතියක් ලෙසද සැලකීමට බැරිකමක් නැත. මේ මහා ග්‍රන්ථයෙන් කලා මාධ්‍යයක් ලෙස සංගීතයෙහි ස්වරූපය, එහි කලින් කල පහළ වූ විවිධ ධාරා ප්‍රවණතා, සෙසු කලාවන් සමඟ එහි පවත්නා අන්තර් සබඳතාව, ශුද්ධ සංගීතය හා එය ව්‍යවහාරික කලාවක් ලෙස චිත්‍රපටය, වේදිකා නාට්‍ය, මුද්‍රා නාට්‍ය, ටෙලි නළුව, ගුවන්විදුලි සරල ගීතය ආදී කලා මාධ්‍ය සඳහා භාවිත කෙරෙන ආකාරය, පෙරඅපර දෙදිග වශයෙන් එහි පවත්නා සම විෂමතා, පෙරඅපර දෙදිග සංගීත පඬුවන්ගේ මතවාද, ලංකාවේ සංගීත කලාව, ගීත සාහිත්‍යය ආරම්භයේ සිට අද්‍යතනය දක්වා විකාශනය වූ ආකාරය, සංගීතයෙහි අමරදේවයන්ට පූර්වයෙහි සිටි පුරෝගාමීන්, ඔහුගේ සමකාලීනයන් හා අනුප්‍රාප්තිකයන් අරභයා මෙන්ම අමරදේව නමැති මහා කලාකරුවාට ආභාසයක් අනුප්‍රාණයක් වූ ප්‍රාඥයන්, විද්වතුන්, කලාකරුවන් පිළිබඳ පසුබිම් තතුද විවරණය කෙරෙන බැවින් මෙය එක් අතකින් සංගීත විශ්වකෝෂයක් නොඑසේ නම් සංගීත සංගායනාවක් සේ සැලකිය නොහැකිද? අමරදේවයන්ගේ සම්පූර්ණ ගීත නාමාවලිය හා ඔහුගේ බහුතරයක් ගීතවල පදමාලාද, දුර්ලභ ගණයේ ජායාරූපද මීට අන්තර්ගත වන බැවින් මේ ග්‍රන්ථය මුද්‍රිත සංගීත සංරක්ෂණාගාරයක් බවටද පත්වේ. මෙය ෆාස්ට් පබ්ලිෂින් (සුරස) ප්‍රකාශනයකි.

අදහස්
Book

ඔතපුවන් නුවණ (2016)

 

බෞද්ධ දර්ශනය මුල් කොට ගෙන ලාංකේය අපටමැ අනන්‍ය වූද මුළු ලොවටම භාවිත කළ හැකි වූද කලා විචාර ක්‍රමවේදයක් බිහි කිරීමට නුවන් දැරූ පුරෝගාමී ප්‍රයත්නයෙහි තවත් දිගුවකි. මෙහි මුඛ්‍ය නිබන්ධයෙන් මේ විචාර ක්‍රමවේදයෙහි සෛද්ධාන්තික පක්ෂයද සෙසු විචාර නිබන්ධ බහුතරයෙන් එහි ව්‍යවහාරික පක්ෂයද විදාරණය වේ. බෞද්ධ දර්ශනවාදී විචාර ක්‍රමවේදය උපයුක්ත කොට ගැනීමේදී සැලකිය යුතු එහි පරම අධ්‍යාශය වන ‘පහන් සංවේග’ සංකල්පය මෙහිදී පුරෝගාමීව සුපැහැදිලි ලෙස විවරණය කෙරේ. ප්‍රශස්ත කලා නිර්මාණයක මතු නොව උසස් ගණයේ විචාර නිබන්ධයකද සමස්තාර්ථයෙන් සූචනය විය යුත්තේ මෙකී ‘පහන් සංවේග’ සංකල්පය බව කතුවරයා පෙන්වා දේ. එසේ කළ හැක්කේ ඔතපුවන් නුවණෙන් හෙබි කලාකරුවකුට හා විචාරකයකුට පමණක් බව නුවන් මේ ග්‍රන්ථයෙන් අවධාරණය කරන්නා වූ දර්ශනය වේ. මෙය සරසවි ප්‍රකාශනයකි.

අදහස්
Book

සරසවි බැල්මෙන් සතර සවියට (2017)

 

විවිධ විෂය පිලිබඳ විචාර නිබන්ද සංහිතාවකි. නුවන් වරින්වර විවිධ පුවත්පත්වලට ලියන ලද ඒවාහි පළවූ නිබන්ධයන්ද මේ අතර දක්නට ලැබේ. එසේම විශ්වවිද්‍යාල අධ්‍යයන අවශ්‍යතා සඳහා නොයෙක් විට ලියූ සටහන් සමුදායන්ද පසුව නිබන්ධ ලෙස සකස් කොට මෙහි ඇතුළත් කර තිබේ. එමතුද නොව වරින්වර විවිධ තැන්හි, සම්භාෂණවල ඔහු විසින් පවත්වන ලද දෙසුම් පටිගත කොට ඒවා කථන ස්වරූපයෙන්ම එනම් පිරිපහදු කළ කට වහරෙන් නැවත ලියා මේ ග්‍රන්ථයට බහා ඇත. "සරසවි බැල්මෙන් සතර සවියට" නම් වූ මෙහි මුඛ්යැ නිබන්ධය මේ ග්‍රන්ථය අරභයාම ලියූවකි. සකල කලාවට අධිපතිනිය ලෙස පෙරදිග මිනිසුන් වන අප ඒකමතිකව පිළිගන්නා සරස්වතී දේවිය යනු කවුරුන්ද? ඇගේ මහිමාලංකාරය (Charisma) එනම් අනුහාසාත්මක බව කෙබඳුද? සරස්වතිය අපට දායාද කළ සතර සවිය යනු කිම? සරසවි බැල්ම ලැබූ වචනයේ පරිසමාප්ත අර්ථයෙහිම කලාව හා කලාකරුවා කෙබඳු වේද? යනාදී ගැටලු අරභයා අධ්‍යයනය කිරීමේ කුහුලින් මඩනා ලද සිත් ඇතිව නුවන් සෙවූ විමසූ දෑ මෙහි මුඛ්‍ය නිබන්ධයට ඇතුළත් වේ.

මෙය සරසවි ප්‍රකාශනයකි.

අදහස්
Book

හිරු සඳු සේ බබළන්න(2018)

 

1999 වසරේ සිට මේ දක්වා විද්වත් සහෘද, විචාරක, පාඨක ඇගයුමට ලක්වූ ශාස්ත්‍රීය, පර්යේෂණාත්මක විචාරාත්මක ග්‍රන්ථ 13 ලියා පළ කළ ආචාර්ය නුවන් නයනජිත් කුමාරයන්ගේ 14 වැනි ග්‍රන්ථය වන "හිරු සඳු සේ බබළන්න" ඔහුගේ ප්‍රථම ළමා සාහිත්‍ය කෘතිය වේ. එසේම ඔහු පළමුවරට නිර්මාණ සාහිත්‍යකරණයට ප්‍රවිෂ්ට වනුයේද මේ ග්‍රන්ථයෙනි. "හිරු සඳු සේ බබළන්න" මෙරට ළමා පරපුරටත් වැඩිහිටි පරපුරටත් එකවර රසාස්වාදය හා ජීවිතාවබෝධය ලබා දෙමින් තත්කාලීන සමාජයද සියුම් ලෙස විවරණය කෙරෙන්නාවූ නවමු සහානුභූතියක් සහෘදයා වෙත ගෙනෙන ළමා කතාන්දරයකි. අප ජීවත්වන මේ සංකීර්ණ සමාජයේ තරිඳු, තාරක වැනි ගුරුවරුද සිටිති. මේ චරිත එකිනෙක තුලනය කොට අප යා යුතු නිවැරදි මඟ කුමක්දැයි තීරණය කිරීම බුද්ධිමත් ළමා, වැඩිහිටි සහෘද පාඨක ඔබ සැමට පැවරී තිබේ..

අදහස්
Book

මිහිකතගේ දරුවෙක් (2019)

 

නුවන් නයනජිත් කුමාරයන්ගේ 15වන ග්‍රන්ථය වන "මිහිකතගේ දරුවෙක්" ඔහුගේ දෙවන ළමා සාහිත්‍ය කෘතිය වේ. මේ වූ කලී ලේඛකයා ස්වකීය ළමා කාලයේ මුහුණපෑ සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියූ ළමා කතාවකි. දෙමවුපියන්ගේ, වැඩිහිටියන්ගේ සහ දූ දරුවන්ගේ ලෝක දෙකෙහි වෙනසත්, එහි යහපත් අන්යෝන්‍ය, සමීප සම්බන්ධතාව ශක්තිමත් කිරීම උදෙසා එකිනෙකා සංවේදීතාවෙන් අවබෝධ කර ගත යුතු ආකාරයත් දූ දරුවන්ගේ සිතෙහි ගොඩනැගෙන දැහැමි, විනයානුකූල යහපත් පෞරුෂත්වය ඔස්සේ වැඩිහිටි ලෝකයේ අභියෝග ඔවුන්ට ජයගත හැකිවන ආකාරයත් මෙරට සිංහල බෞද්ධ මහා සභ්‍යත්වයට ප්‍රමුඛත්වය ලබාදෙන අතර අන්‍ය ජන වර්ගවලට, ආගම්වලට, එකසේ ගරු කොට ඔවුන් හා සමගියෙන්, සහජීවනයෙන් අනුකලනයෙන් ජීවත්වීමේ වැදගත්කම පිළිබඳවත් මේ ළමා, වැඩිහිටි දෙපරපුරටමැ ඉඟි කෙරේ.
සරසවි ප්‍රකාශණයක්.

අදහස්
Book

ඇසු පිරූ තැන් (2020)

 

මේ ග්රන්ථයට ඇතුළත් වනුයේ මෙරට එකම ජාතික කලා පුවත්පත වූ සරසවිය හී පළ වූ කතුවරයා විසින් ලියන ලද ශාස්ත්රීය ලිපි සරණිය වේ. මේ වූ කලී සිනමාව මතු නොව වේදිකා නාට්ය, ටෙලි නළුව, නවකතාව, කෙටිකතාව, කවිය,ගීතය, චිත්ර ශිල්පය ,මූර්ති කලාව, සංගීතය, ගීතය ජනශ්රැතිය ,භාෂාව ,සෞන්දර්යවාදය දර්ශනය , විචාර කලාව, නර්තන කලාව ජනමාධ්ය ඈ සකලවිධ කලා සාහිත්යික ක්ෂේත්ර අවැසි තැන්හී ස්පර්ශ කරමින් ලියූ විචාර ලිපි සංහිතාවකි. එහිදී කතුවරයා පොත පතෙන් උකහා ගත් දැනුම මෙන්ම අනේකවිධ පඬිවරුන්ගෙන්, සාහිත්යවේදීන්ගෙන්, කලාකරුවන්ගෙන්, එදිනෙදා හමුවන අප්රකට මිනිසුන්ගෙන් අසා දැන ගත් සාරවත් දෑ ද ඊට මුසු කොට ඇත.කලා නිර්මාණ ආස්වාදයෙන් නුවන් ලත් සියත් සිතුම්ද මෙහි සුලබව ඇත. කෙටියෙන් පැවසුවහොත් මේ ග්රන්ථය ආචාර්ය නුවන් නයනජිත් කුමාර ශාස්ත්ර පිපාසයෙන් ආවේශිතව එය සහෘදයන් හා බෙදා ගැනීමෙන්, ඔවුන්ගේ ජීවිත පරිඥානය සකල කලාවෙන් සුපුෂ්පිත කිරීමට දැරූ ප්රයත්නයකි.
සරසවි ප්‍රකාශණයක්.

අදහස්

විශේෂිත පොත්